වසර 100 ක් ජීවත් වන්නේ කොහොමද ? ' ජපන් රහස ' හෙළිවෙයි ඡායාරූප මූලාශ්‍රය , GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය , ජපන් ආහාරයේ සැඟවුණු රහස කුමක්ද ? සියක් ආයු ලද මිනිසුන් - සරලවම කියනවා නම් , අවුරුදු 100 ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වූ මිනිසුන් - වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙනි. අනුපාතයක් හැටියට කිවහොත් , සෑම ජපාන වැසියන් ලක්‍ෂයකින් 48 දෙනෙකුම සිය වෙනි උපන්දිනය පසු කරති. මෙම අනුපාතයට ලං වීමටවත් හැකියාවක් පවතින වෙනත් රටක් මේ මහපොළොව මත නැත. ලෝකයේ වෙනත් රටවල ඇතැම් මිනිසුන් මේ දෙස බලන්නේ විමතියෙනි. මේ සා විශාල පිරිසක් , සියක් ආයු ලබන්නට හේතුවූ කරුණ කුමක්ද ? අපට නොමැති , ජපන් ජාතිකයන්ට පමණක් ඇති අරුම පුදුම දේ කුමක්ද ? එහි රහස , ජපන් වැසියන් ආහාරයට ගන්නා යමක්ද ? මේ ගැන කල්පනා කරනවිට අපේ සිහියට නැගෙන්නේ මධ්‍යධරණී කලාපයේ පැවති ආහාර රටාව පිළිබඳව ය. ඇමරිකානු පෝෂණවේදියෙකු වූ ඇන්සෙල් කීස් හැත්තෑව දශකයේ දී , එහි අතීත තතු සොයන්නට වූයේ , ඉතාලියේ සියක් ආයු ලද්දන් ගැන ඔහු සැළකිලිමත් වූ නිසාවෙනි.